Friday, December 20, 2013

කුඩ සිල්වා දුටු ගම්පොලයාට වැළ බෑම අමතක විය.



අද වැනි පාසල් වෑන් නොතිබුනු ඒ යුගය ඉතා අපූරූ යුගයක්ය. අපි පාසල් ගියේත් ගෙදර ආවේත් යාලුවන් සමඟය. එකිනෙකා හා පොරබදා ගුටි කා ගෙන ගෙදර එන ඒ ගමන හරිම ආතල් එකකි. සවසට ගෙදර විත් කන්නට තරම් කුසගින්නක් අපට තිබුනේ නැත. බොහෝවිට ගුටිකෑමෙන් ද මග දිගට ඇති අඔ, වරකා සහ වෙනත් පළතුරු කෑමෙන්ද කුස බොහෝවිට පිරී තිබුනි.  අද එකට එන යාලුවා ඊට පසු දින නයාට අදුකොල මෙන් වන්නට ගතවනුයේ තත්පර කිහිපයකි. පාසලෙන් පටන්ගන්නා වලි ඉවර වන්නේ ගේ ලඟදීය. බල්ලා ගෙදර ලගදී සැරනිසා අනිත් බල්ලන් නිහඩව අපේ ගේ ලගින් යති. ගොඩක් යාලුවන්ගේ හා හතුරු මිතුරන්ගේ ගෙවල් වලට යා යුත්තේ අපේ ගේ පසුකොටය. එම නිසාම ගම්පොළයා පොරක් විය. ගම්පොළයා එකල සිටන්ම පාවාදීම්, බෙලිකැපිළි, අංචි ඇදීමට, අනුන් හසුකොට ආතල් ගැනීමට හරි රුසියෙක් විය. ගම්පොළයාගේ හොඳම මිතුරා වූයේ රාජාය. බොහෝ විට පාසල් ඇරී ගෙදර  ආවේ රාජා සමගය. ඌත් දන්තධාතු ගෙනියනවා මෙන් මාවත් කරේ තියාගෙන එන දවස් තිබුනි. 


පාසල ඇරී ගෙදර එන ගමන් වැළ වරකා අපගේ ප්‍රධාන ආහාරය විය.  
(සිංහල පාඩම වැළ හා වැල යනු වර්ග දෙකකි. වැළ යනු පළතුරකි. කොස් ගස් වර්ග දෙකකින් දැකිය හැකි අතර  ඉදුනු විට එකක් වැළ වන අතර අනෙත් වර්ය වරකා වේ. අනිත් වැල යනු රෙදි වැල්, බෝංචි වැල් හා වෙනත් වැල් වර්ගයන්ය. මෙහිදී අක්ෂර ළ හා ල හි වෙනස හොඳින් දැනගැනීම වැදගත්ය.) වැළ යනු අපූරු පළතුරක්ය. පොත්ත ගහේදීම ගලවා මඩු එකින් එක ගලවා ගිලින ගමන් ඇටේ කටෙන්ම ඉවතට විසි කිරීම මාරම ආතල් වැඩකි. දැන් කාලේ කොල්ලන් වැල බැලුවාට වැළ කා නැති නිසා මෙහි ආතල් එක මෙසේ කියුවාට උන්ට දැනෙන්නේ නැතිවා වන්නට පුළුවන. 

ඉතින් එදාත් ගෙදර එන ගමන් ගසක තිබුනු වැළ ගෙඩිය අමුතුම ආනන්දයක් රාජාට හා මට ගෙන දුනි රාජා ගසට නැග්ග ආකාරය මට කොහෙත්ම මතක නැත්තේ ඔහුගේ වේගවත් හැකියාව නිසාවෙන්ය. රාජා පොත්ත ඉවත්කොට මඩ්ඩක් කා මගේ කොටස එවීමේ කාර්යය ආරම්භ කරන ලදි. මම ටිකිරි මොලේ පාවිච්චි කොට අතේ තිබුනු කුඩේ අනිත් පස හරවා විසි කරන වැළ මඩු එකතු කිරීමේ මෙහෙයුම ආරම්භ කරන ලදි. කුඩය පිරීමට ආසන්න වත්ම ඈතින් කුඩයත් සමඟ එන කුඩ සිල්වා  දුටු වත්ම මිතුරුකම අමතකව ආත්මාර්ථය දෝරේ ගලන්නට විය. (අපි මේ සර්ට කියුවේ කුඩ සිල්වා කියලා පොරගේ අතේ කළුපාට කුඩේ නැති වූ වෙලාවක් තිබුනේ නෑ)  වහාම මිතුරා පාවාදීමේ ක්‍රියාවලියට එන්ටර්වූ ගම්පොලයා කුඩය හකුලාගෙන වැළ ලොඩ් එක කිහිල්ලේ ගසාගෙන ඔරේ හොටන් කියා ගෙදරට ප්‍රවිශ්ඨ විය.  මා ඌ දමා ආ වග ඌ දන්නේ නැත.

අනිත් දවස මාරම දවසක් විය කුඩ සිල්වා වේවැලත් සමඟ පන්තියට ගොඩවිය. රාජා වරෙන් ලඟට තෝ ඊයේ වැළ කඩන ගමන් කුඩේ අල්ලපං මේ ටිකත් දාගෙන පලයං කියලා මට කියුවා තොට මතකද, යකෝ තෝ හොරෙන් අනුන්ගේ ගස්වලින් වැළත් කඩලා මටත් සමච්චල් කොරනවා නේ හිටු මම තොට කියලා අම්බානෙක කෑම දීම ආරම්භ කරන ලදි. කියාපිය මං එන්න කලින් එකෙක් දිහුවා මං දැක්කා, කෝ ඒකා ? ඒකටත් සලකන්න ඕනේ , කියපිය කෝ ඌ. 

අම්මා මම දන්නවා කවදාවත් මගේ යාළුවෝ මගෙත් එක්ක පාරේ ගියාට මාගේ පාරේ යන්නේ නෑ කියලා ඌ මාව පාවා දුන්නේ නෑ. ඔන්න ඔහොමයි යාළුවෝ.

1 comment:

Gayan Tharaka said...

සුන්දර අතීතය තවමත් රසවත්..
වෙලේ නියරදිගේ සරුංගලේ දිහා බල බල පස්සෙන් පස්සට දුවපු හැටි, හොරාට කුරුම්බාවක් බීපු හැටි, වෙලවල් මැද එල්ලෙ ගහපු හැටි, දණක් විතර එරෙන පිදුරු ගොඩවල් වල නටපු හැටි හෙම මතක් උනා.

මොනව උනත් දැන්කාලේ පොඩි උන්ට වඩා සුන්දර ළමා කාලයක් අපට තිබුනා
:)